About Our College
විදුරුවණින් බිඳක් …
හොරණ රාජමහා විහාරාධිපතිව වැඩ විසූ හොරණ ශ්‍රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ හා කරදන ශ්‍රී දේවානන්ද නාහිමිපාණන් වහන්සේ යන දෙනම විසින් පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකුගෙන් යුතුව ක්‍රි.ව. 1929 මැයි මස 29 දින “විද්‍යා දදාති විනයං” යන්න තේමා පාඨය කරගනිමින් විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙන ආරම්භ කළහ. ඒ ඉහත අරමුණු අගය කළ බැවින් එබඳු විනය ගරුක සිසු පරිසක් සමාජගත කිරීමේ උදාර පරමාර්ථයෙනි.
මෙම ස්වාමීන්වහන්සේලා තුළ පැවති දුර දක්නා නුවණත් අධ්‍යාශයක් බෝධිසත්ව පරමාර්ථයත් නිසාවෙන් යුගය දියුණු වෙමින් ආ විද්‍යාරත්නය වර්තමානයේ දී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 350 ට අධික ප්‍රමාණයක් හා ගිහි සිසුන් 2000 ට අධික ශාස්ත්‍රාභිලාභීන්ගේ නැණ පහන් දල්වන දිවයිනේ ප්‍රමුඛතම පිරිවෙන් විද්‍යාස්ථානය බවට පත්ව ඇත.
ඉහත ආදි කතෘන් වහන්සේලාගේ ඉමහත් කැපවීමත් ධෛර්යයත් නිසාම විද්‍යාරත්න මාතාවට 1931 වර්ෂයේදී රජයේ ලියාපදිංචිය ලැබුණි. බෞද්ධ අධ්‍යාපනය විනාශ කිරීමට ඉංග්‍රීසි පාලකයන් කටයුතු කරමින් සිටි යුගයක විද්‍යාරත්නය රජයේ අනුමත පිරිවෙනක් බවට පත්වීම හොරණ ප්‍රදේශයට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකාවම ලද ජයග්‍රහණයක් බව වර්තමානය වන විට තහවුරු කර ඇත.
මෙලෙස සංවර්ධනය වෙමින් පෙරට ආ විද්‍යාරත්නයේ ස්වර්ණමය යුගය උදාවන්නේ රාජකීය පණ්ඩිත මහනුවර ශ්‍රී ධම්මරතන නාහිමිපාණන් වහන්සේ මෙහි අධිපති ධූරයට පත් වීමත් සමගය. විද්‍යෝදය, විද්‍යාලංකාරය වැනි මහපිරිවෙන් ආරම්භ කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධම්මාලෝක යන හිමිවරුන් වැඩි මගෙහි යමින් දුෂ්කරතා හමුවේ නොසැලී කටයුතු කළ මහනුවර ශ්‍රී ධම්මරතන නාහිමිපාණෝ සිය ජීවිතයත් විද්‍යාරත්නයත් දෙකක් නොව එකක් ලෙස සලකා කටයුතු කළ බව ගෞරවයෙන් සිහි කටයුතු ය. මේ යුගයේ විද්‍යාරත්නය ලබාගත් ජයග්‍රහණ කිහිපයක් සංෂිප්තයන් මෙසේය.
- 1945 ජනවාරි මස ඉංග්‍රීසි භාෂාව සහිතව නවීන විෂයන් ඉගැන්වීමේ අංශය ආරම්භ කිරීම.
- 1947 ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් ක්‍රීඩා අංශයන් ආරම්භ කිරීම.
- 1948 දී පාසල් නිවාස ක්‍රමය ආරම්භ කිරීම.
- 1951 දී කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම පාසැල් බාලදක්ෂ කණ්ඩායම විද්‍යාරත්නයෙන් බිහිවීම.
- 1947 දී ආරම්භ වූ “සීමාසහිත විද්‍යාරත්න සංගමය” 1954 දී රජයේ ලියාපදිංචිය ලැබීම.
- 1956 වර්ෂයේ පිරිවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිරිවෙනක රසායනාගාරයක් ආරම්භ කිරීම.
මේ සියළු ජයග්‍රහණ විද්‍යාරත්නය ලබන්නේ මහනුවර ශ්‍රී ධම්මරතන නාහිමිපාණන්ගේ කැපවීම මතය.
මේවා එලෙසම සංවර්ධනය කරමින් ඉදිරියට පවත්වාගෙන ඒමට අනතුරුව පරිවේණාධිපති ධූරයට පත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා කටයුතු කළ බව ගෞරවයෙන් සිහිකටයුතුය
මෙලෙසින් සංවර්ධිත විද්‍යාරත්නය 1956 වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්ති පැවැත්වීමට අනුමැතිය ලබා ගත්හ. 1960 වර්ෂයේදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙස උපාධී අංශයක් ද ආරම්භ විය. මේ තුළින් උපාධි ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසු සිසුවියෝ අද රටපුරා සිය සේවාවන් ඉටු කරති. නැවත 1970 වර්ෂයේ වාණිජ විද්‍යා අංශය ද ආරම්භ විය.
2018 වර්ෂයේදී පිරිවෙනක් තුළ ඉතිහාසයේ ප්‍රථම වරට අ.පො.ස උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරාව හඳුන්වාදෙමින් රජයේ අනුමැතිය සහිතව තාක්ෂණික අංශය ආරම්භ කිරීම විද්‍යාරත්නය ලැබූ තවත් ජයග්‍රහණයකි.
සෞන්දර්ය අංශය නාට්‍ය නිර්මාණ වලින් ඉදිරියට ආ අතර විද්‍යාරත්නය සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් විද්‍යාරත්නයටම ආවේණික වූ නාට්‍ය සාහිත්‍යයකට උරුම කම් කියයි. එසේම බොක්සිං ක්‍රීඩා අංශයෙන් ද ඉදිරියට ආ විද්‍යාරත්නය සමස්ත ලංකා ජයග්‍රහණ පමණක් නොව ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට උරුමකම් කියයි.
මෙලෙස සියලු ක්ෂේත්‍රයන්ගෙන් පෙරට ආ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨය වර්තමානය වන විට වෙනස් වන අධ්‍යාපන රටාවන්ට අනුවර්ථනය වෙමින් මුඛ්‍ය පරමාර්ථ එලෙසින්ම පවත්වාගෙන යමින් ලංකා මාතාවට විශාල සේවයක් සලසයි. ඒ අනුව අද අධ්‍යාපනයේ සියලු අංශ විද්‍යා / ගණිත / කලා / වාණිජ හා තාක්ෂණ විද්‍යා විෂය ධාරාවත්, බාහිර උපාධි අංශයත් / ක්‍රීඩා / සෞන්දර්ය / බාලදක්ෂ / පරිසර භට / ශිෂ්‍ය භට / තූර්යවාදක ඛණ්ඩය / පරිගණක අංශය / සුහුරු පන්ති කාමර (Smart Class Room) වලින් සපිරි දිවයිනේ එකම විද්‍යායතනය බවට පත්ව තිබේ. එපමණක් නොව ආදි කතෘන් වහන්සේලාගේ අරමුණු සඵල කරමින් වර්තමාන පරිවේනාධිපති හිමිපාණන්ගේ සංකල්පයකට අනුව ඉගෙනීමෙහි දක්ෂ දුප්පත් සිසුන්ට විද්‍යාරත්නය ශිෂ්‍යත්ව පිරිනමා අධ්‍යාපනය ලබාදෙන බව සිහි කරන්නේද ඉමහත් ගෞරවයෙනි.
මෙවන් ආඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන විද්‍යාරත්න මෑණියන්ගේ සෙවනෙහි ශිල්ප හදාරණ මානවයන් පිරිසක් වීමට ලැබීම ඔබ ලද භාග්‍යයකි. ඒ මෑණියන්ගේ කීර්තිනාමයට කිසිදු කැළලක් නොවන ආකාරයටත් ගෞරවය වර්ධනය වන ආකාරයටත් කටයුතු කිරීම ඔබගේ වගකීමකි.